Monday, September 24, 2018

පැල්පත් කඳුළු.



අළුයම් රිදී හිරු රැස් දහර
හරි හරියට ගං තලය සමඟ ගැටී
ජල තලය රත්පැහැ ගැන්මට වෙර දරයි

ගං තලය පිස ආ මඳනල 
යාබඳ කුණු කන්ද හරහා 
පැල්පතේ කවුළුව තුලින්
ඇතුළු වූයේ පරණ සාරි කඩමාල්ල
තඹයකටවත් ගණන් නොගෙනය

සුපුරුදු දුර්ගන්ධය දවස පටන් ගැන්මට 
කාළය එළබ ඇති බවට 
සංඥාව දේ.
ඇත්තටම එය දුර්ගන්ධයක් නොව දවසේ එක් අංගයකි

සාරි කඩමාල්ලට 
උසුළු කරමින්
එය 
නොපැමිණි දිනයන්හි
දවස පටන් ගැන්මද
ප්‍රමාද වේ.

දිගු පෝලිම්
වැසිකිළියට
බෙලෙක් ටින්,කෝප්ප කෑලි 
අතේ දරාගත්,සියල්ල 
නොසන්සුන්
සුපිරිසිදු භාෂාව
දෙසවන කුල්මත් කරයි

මගේ වාරය පැමිණ ඇත
වතුර කඳුළු කිහිපයෙන් තෘප්ත
බෙළෙක් ටිනයද රැගෙන 
රිංග ගති ටකරන් කූඩුවට

කෘත්‍ය ඉටුවන්න පටන් ගත්තා පමණි
කාලකණ්නි යකඩ ඇතා 
හූ... කියා මොර දීගෙන 
දෙඳරවයි ටකරං මඩුව

කර්තව්‍ය හමාර විය
කොටස් වශයෙන්
එනමුත්
කොහින්ද,නිදහසක්
ටකරන් චිරි චිරිය
හූ.....ශබ්ද මැද
නිදහසේ සිටිය හැකි එකම වෙලාවටවත්
කොහින්ද
නිදහසක් 
පැල්පතේ අපිට



මලීෂ් කඹුරුගමුව.


Friday, September 7, 2018

මෙඩූසා ආක්‍රමණය.


මෙඩූසා ආක්‍රමණය.


තව සුළු මොහොතකින්
මා,ශෛලමය විය හැක.
නමුත්
ඊට පෙරාතුව මා මෙසේ ලියා තිබිය යුතුය.
මා මුළු වෙරම යොදා සටන් කලඳ
මේ වන විටත් මගේ හෘදයෙන් අඩක් ඇය ජය ලබා අවසන්ය.
මගේ ඇට මිදුළු පවා උන්මත්තක වේදනාවකින් පෙළේ.
ඇඟේ සුවඳ ආත්මය කිතිකවන සුළුය.
කෙසේ වුවද,
අවසානය තෙක් සටන් කිරීමට මම ඉටා ගමි.
ඇගේ දෙනෙත් දෙස නොබැලීම එක් උපක්‍රමයකි.
ඇගේ සුවඳින් වශී කෘත වීම වැලැක්වීමට,ආයාසයෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව වැළඳගමි.
කෙසේ වුවද,
අවසානය මම දනිමි
තව සුළු මොහොතකින් මා ශෛලමය විය හැක.


මලීෂ් කඹුරුගමුව.


Saturday, September 1, 2018

අදුරු වසන්තය.


අදුරු වසන්තය.


වසන්තයෙත් ඇත
මල් නොපිපෙනා
දළු නොදළනා
මහා වෘක්ෂයො


මලීෂ් කඹුරුගමුව.