Adsterra Ad

Thursday, January 30, 2025

ඉන්දියානු වායු දූෂණ මාරයාට නිහඬවම බිලි වෙමුද?

 


ඉන්දියාව විසින් පැහැදිලිවම ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝණය කරමින් දකුණු ආසියානු කලාපයටම බලපාන අති දැවැන්ත වායු දූෂණයක් සිදුකරමින් පවතී. දැනට වසර කිහිපයක සිට ඊසාන දිග මෝසම සමඟ ඉන්දියානු දූෂිත වායු දහරා ශ්‍රී ලංකාව වසාගන්නා අයුරු අප අත්වින්දෙමු. 2025 ජනවාරි අවසන් සතිය වන විට මේ වන තෙක් අප රටක් වශයෙන් අතිවිඳි දරුණුම වායු දූෂණ තත්වයට අප මුහුණ දෙමින් සිටිමු. මේ ලියන මොහොතේත් හුස්ම ගැනීමේ අපහසුතාවය සමඟ එම වායු දූෂණයේ අහිතකර තත්වය අත්විදිමින් සිටිමි. 


මෙම අධික වායු දූෂණ තත්වය යටතේ රටක් වශයෙන් අපි මේ මොහොතේත් අධික හානි රැසකට මුහුණ දෙමින් සිටිමු. ඉන්දියාවේ කර්මාන්ත ශාලා වලින් නිකුත් වන මෙම දූෂිත වායූන් නිසා අපගේ වායුගෝලීය තත්වයන් අතිශය අහිතකර මට්ටමකට පත්ව තිබේ. කාබන් මොනොක්සයිඩ් (CO), නයිටුස් ඔක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NOx), සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) සහ දුහුවිලි අංශු (PM2.5) වැනි සෞඛයයට අතිශය අහිතරකර දූෂක ද්‍රව්‍ය ඉන්දියාව විසින් රසායනික ප්‍රහාරයක් මෙන් අප වෙත මුදාහැර තිබේ. 


මෙම තත්වය නිසා ස්වසන රෝග ප්‍රමුඛව විශාල සෞඛ්‍ය ප්‍රශ්න රැසකට ශ්‍රී ලංකිකයින් මුහුණ දී සිටී. ස්වසන රෝග නිසා රෝගී වූ සහ මියගිය පුරවැසියන් කොපමණක්ද, මළදරු උපත් කොපමණක්ද යන්න තවමත් අප නොදන්නා නමුත්, එහි වැඩිවීමක් පවතිනු නොඅනුමානය. රජයේ සහ පෞද්ගලික රෝහල් වල සායනික දත්ත මගින් මෙම තත්වය නිසා ඇති වූ සෞඛ්‍ය අවධානම කොපමණද යන්න අවබෝධ කරගත හැකිය. එමෙන්ම රටක් වශයෙන් වැඩිපුර දැරීමට සිදුවන සෞඛ්‍ය පිරිවැයද ගණනය කළ හැක. 


තවද දැනට සති කිහිපයක් තිස්සේ අපගේ අහස් කුස වසා ඝණ දූෂිත වායු වලාවක් පැතිර පවතී. මෙමගින් පොළවට පතිත වන හිරු එළිය අවහිර වීම සහ අම්ල වැසි නිසා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ බෝග වගාවන්ගේ අස්වනු හානිය මෙන්ම, සූර්ය බල පද්ධති වල උත්පාදනය අඩුවීම ඇතුළු සැලකිය යුතු ආර්ථික හානි සිදුවී හමාරය. මෙම හානීන්ගේ ප්‍රමාණය කොපමණද යන්න පහසුවෙන් ගණනය කිරීමටද රජයට හැක. 


2019 දී ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහනේ Climate & Clean Air Coalition (CCAC) හි පාර්ශවකරුවෙක් වශයෙන් සම්බන්ධ වෙමින් තම රටේ වායු දූෂණය 2024 වන විට 30% කින් පමණ අඩු කිරීමට පොරොන්දු වී ඇති නමුත්, සැබැවින්ම මෙම වායු දූෂණ තත්වය පාලනය කිරීමට කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පෙනෙන්නට තිබේ. CCAC, UNFCCC, Kyoto, Montreal වැනි ඉන්දියාව බැඳී සිටින ජාත්‍යන්තර සම්මුතීන්ට අමතරව ඔවුන්ගේ රටේ පාරිසරික ආරක්ෂණ පණත (EPA) මගින්ද වායු දූෂණය පාලනය කිරීමට බැඳී සිටියක් ඒ කිසිවක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැත. 


තවද, දේශාන්තර වායු දූෂණයට එරෙහි ප්‍රබල ජාත්‍යන්තර සම්මුතියක් වන Convention on Long-Range Transboundary Air Pollution (LRTAP) සම්මුතියේ පාර්ශවකරුවන් වශයෙන් ආසියානු රටවල් නොමැති වීම කණගාටුවට කරුණකි. එම සම්මුතිය අත්සන් කිරීම සඳහා දකුණු ආසියාතික රටවල් පෙළඹවීම කළ හැකි නම් එය අනාගතයේ මෙවැනි තත්වයන් පාලනය කරගැනීමට මහත් පිටුවහලක් වනු ඇත.


කුමණ සම්මුතීන් වලට එළැඹ සිටියද, අවට රටවලට පමණක් නොව ඉන්දියානුවන්ටද ඉමහත් අහිතකර පරිසරයක් නිර්මාණය කරන මෙම අධික වායු දූෂණ තත්වය දැන් වසර ගණනාවක් පුරා අඛණ්ඩව නරක අතට හැරෙමින් පවතීම මගින් පෙනී යන්නේ ඉන්දියාව මේ සම්බන්ධව සාධණීය පියවරක් නොගන්නා බවය. ඇතැම් විට ඉන්දියාව රටක් වශයෙන් අත්පත්කරගනිමින් සිටින ආර්ථික සංවර්ධන ඉලක්ක ඔවුන්ට පාරිසරිස සහ සෞඛ්‍ය ඉලක්ක වලට වඩා වටිනවා විය හැක. කෙසේ නමුත් මෙම වායු දූෂණයේ වැඩිම හානිය සිදුවනු ඇත්තේද ඔවුන්ටමය.


මෙම තත්වය ඉදිරියේදී තවත් වැඩිවනු විනා අඩුවීමක් බලාපොරොත්තු විය නොහැක. ඊට හේතුව ඉන්දියාවට ඇති ඉදිරි ආර්ථික සංවර්ධන ඉලක්කයන්ය. ලෝකයේ ආර්ථික බලවතුන් අතර මේ වන විට 5 වන ස්ථානයේ සිටින ඉන්දියාව ඉති ඉක්මණින් 3 වන ස්ථානයට පැමිණීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. ඒ සඳහා අධික කාර්මීකරණයක් වෙත ඔවුන් යොමුවී සිටින අතර පාරිසරික තත්වයන් ප්‍රශස්ථ ලෙස පවත්වාගෙන යෑමට ඔවුන්ගේ ප්‍රමුඛතා ලයිස්තුවේ ඇති බවක් පෙනෙන්නට නැත.


කෙසේ වුවත් ඉන්දියාවේ අවිධිමත් සංවර්ධනයේ ප්‍රතිවිපාක වලට ශ්‍රී ලංකාව වැනි අවට රටවල් වල පුරවැසියන් වන්දි ගෙවිය යුතු නැත. මෙම තත්වය සමනය කරගැනීම සඳහා ඉන්දියාවේ මෙන්ම අසල්වැසි රටවල පාරිසරික සහ ප්‍රජා සංවිධාන මූලිකත්වය ගත යුතුය. දකුණු ආසියාතික කලාපයේ පුරවැසියන් වශයෙන්ද මේ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ හඬක් නැගීම කාලෝචිතය. නැතිනම් මේ ඉන්දියානු වායු දූෂණ මාරයා ඔබගේ හුස්ම සඳහටම උදුරා ගන්නා දිනය වැඩි ඈතක නොවේ. 



PS. මේ පිළිබඳ පළමු පියවර වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහනේ Climate & Clean Air Coalition (CCAC) හි ප්‍රධානියා වෙත අන්තර්ජාල පෙත්සමක් යොමු කිරීමට සිතුවෙමි. එයද අත්සන් කර ඔබගේ මිතුරන් අතරද ශෙයා කරන්න. 


Sign the Online Petition - https://chng.it/BH4jxgCkS2


Photo credit: Thilina Kaluthotage & iqair.com


නිලක්ෂ රත්නායක.


Tuesday, January 18, 2022

මත් වුණු ආලය.

 



මත් වුණු රැහැයියනි
විලාප නොගසපන්!!

සඳට ආලය කලේ මම
සා පැටවෙකු ඇති වග නොදැන
රැහැයියනි
විලාප නොගසපන්!!

හමා යන සුළඟක
පහසට මත් වුණු ළිය වැලක් මම
ළඟ නොරැඳෙන බව නොදැන
ඉතිං...රැහැයියනි
විලාප නොගසපන්!

මලීෂ් කඹුරුගමුව.

Friday, March 19, 2021

අර්බුද, මධ්‍යම පාංතිකයා හා දේශපාලන බලය.



 අර්බුද නිර්මාණය කිරීමෙන් කැළබිය හැක්කේ මධ්‍යම පාංතිකයාය.විශේෂයෙන් දැන උගත් නාගරික මධ්‍යම පාංතිකයා නිතැතින්ම විරෝධාකල්පිකයෙකු බැවින් ඔහු අර්බුද වෙත ඉතා වේගයෙන් ආකර්ශනය වේ.ඔහුගේ විනෝදය පවතින්නේ මෙම විරෝධාකල්පී හැගීම තුලයි.

හේ දැනුම මහත් හරසරින් පිලිගන්නෙකි.වෙනත් ආකරයකින් කිව්වොත් "දැනුම මධ්‍යම පාංතිකයාගේ අවියයි".ඔහුට කිසියම් දෙයක්/කාරණාවක් ඒත්තු ගැන්වීමට ඇති හොදම විදියනම් එකී විෂය සම්බන්දයෙන් ප්‍රවීණයෙක් හරහා තාර්කිකව පැහැදිලි කිරීමයි.ඔහු නිරන්තරයෙන් නිගමන වලට එලැබෙන්නේ තර්ක බුද්ධිය මත පිහිටාය.

ලාංකීය බොහෝ දේශපාලන ව්‍යාපාර, මධ්‍යම පාංතිකයා, විශේෂයෙන්ම නාගරික මධ්‍යම පාංතිකයාව හදුනාගන්නේ යම්කිසි මතවාදයක් සමාජගත කිරීමට යොදා ගත හැකි මාධ්‍යයක් වශයෙනි.ඔවුන්ගේ විශ්වාසය වන්නේ මධ්‍යම පංතිය කැළබීමෙන් එසේ නැතිනම් මධ්‍යම පංතියට කිසියම් වූ මතවාදයක්,අදහසක් ඇතුල් කිරීමෙන් එය සමාජයේ ඉහලටත් පහලටත් කාන්දු කල හැකිය යන්නයි.

මෙම උපක්‍රමය පසුගිය දශක කිහිපය තුල ඉතා සාර්තකව අත්හදා බලන ලද අතර එය සැලකිය යුතු ප්‍රතිඵල ලබා දුන් බව දැකගත හැකිය.ඉතාම මෑත කාලීන උදාහරණයක් වශයෙන් පසුගිය ජනාධිපතිවරණය හදුනාගත හැකිය.පාස්කු ප්‍රහාරය දේශපාලනිකව භාවිතා කිරීම මෙන්ම "හොදට තිබුණු රටක් අපි වැටිච්ච තැනක්" සහ "මාර වැඩේ ලංකාවට උනේ" ආදී වීරෝධාකල්පී  පාඨ සමාජගත කෙරුනේ මෙම උපක්‍රමික භාවිතාව හරහාය.

විමල් වීරවංශගේ සහ චාපා බණ්ඩාර වැන්නවුන්ගේ දේශපාලනික මැදිහත් වීම් හරහා අපට තවදුරටත් මෙම මධ්‍යම පාංතිකයාගේ විරෝධාකල්පී හැගීම දේශපාලනිකව භාවිතා වන ආකාරය පැහැදිලි කරගත හැකිය."වීරවංශ මාදිලියේ දේශපාලනය" ලෙස අපට මෙය හදුනාගත හැක.

බටහිර අධිරාජ්‍ය විරෝධය,ඇමරිකන් විරෝධය,දෙමළ ඩයස්පෝරා විරෝධය,වාර්ගික ආතතිය ඇතිකිරීම "වීරවංශ මාදිලියේ දේශපාලනයේ" ප්‍රවේශයයි.

නාගරික මධ්‍යම පාංතිකයින් ඉතා විශාල වශයෙන් සංකේන්ද්‍ර ගත වී ඇති කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලාබියා ලෙස විමල් වීරවංශ මනාප 280,672 ක් 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබා ගන්නේ මධ්‍යම පාංතිකයාගේ විරෝධාකල්පී හැගීම දේශපාලනිකව භාවිතය මගිනි.

පරිසර විනාශය හරහා ගොඩනගා ඇති අර්බුදයෙන් මධ්‍යම පාංතිකයා කැළබී ඇත.ඇත්ත වශයෙන්ම මෙම විරෝධයේ ගාමක බල වේගය වන්නේ නාගරික මධ්‍යම පාංතිකයාය.පරිසරවේදීන්ගේ(විශේසඥයින්ගේ) අඩිපාරේ යමින් මධ්‍යම පාංතිකයා විද්‍යාත්මකව  පරිසරය  රැක ගැනීමට ඉදිරිපත් වී ඇත.

නමුත් මෙම විරෝධතාකරුවන්ගෙන් විශාල පිරිසක් පසුගිය ජනාධිපතිවරණයේදී රට වේගවත් සංවර්ධනයක් කරා ගෙන යා හැකියැයි ගෝඨාභය රාජපක්ෂට ඡන්දය භාවිතා කල අය වීම වීම උභතෝකෝටිකයකි.

මෙම සංවර්ධනය යනු නව ලිබරල්වාදය යොජනා කරන සංවර්ධනයයි.සී.ඒ.චන්ද්‍රප්‍රේම "කොළ පාට" සමාජ්යේ යොජනා කරන සංවර්ධනයයි.සී.ඒ.චන්ද්‍රප්‍රේම "කොළ පාට සමාජය" ලියාද දැන් දශක දෙකකටත් වැඩි කාලයක් ගත වී තිබුනද කොළ පාට සමාජයට ගමන් කිරීමට නොහැකි වී  ඇත.චන්ද්‍රප්‍රේමගේද විශ්වාසය ගෝඨාභය රාජපක්ශ හරහා එම සංවර්ධනය අත්පත් කරගැනීමයි.

මෙම සංවර්ධන මාදිලියේ අංග ලෙස කාර්මීකරණය (Industrialization),නාගරීකරණය (Urbanization)  ප්‍රධාන වශයෙන් හදුනාගත හැකිය.පරිසරවේදීන් යෝජනා කරන තිරසර සංවර්ධනයද (Sustainable Development ) නව ලිබරල් සංවර්ධනයේ තවත් ප්‍රධාන අංගයකි.පසුගිය රජය සමයේ තිරසර සංවර්ධන කතිකාව ඉතා ඉහලින් වැජබුන අතර එහි මුල් පෙල සිටි පිරිසද දැන් සංවර්ධනයට විරුද්ධ වෙති.මෙම පරස්පරය අප තේරුම්ගත යුත්තේ කෙසේද?

2024 ජනාධිපතිවරණයට දේශපාලන භූමිය සකස් කිරීමට මේ වන විට ප්‍රධාන වශයෙන් කණ්ඩායම් තුනක් පටන්ගෙන තිබේ.ඔවුන් විවිධාකාරයෙන් සමාජය ඛණඩනය කිරීමට,දේශපාලන භූමිය තුල තම සීමාවන් සලකුණු කිරීමට යුහුසුළුව ක්‍රියා කරමින් පවතී."පරිසරය" සමාජ අර්බුදයක් ලෙස ගොඩ නැංවීම එහි දිගුවකි. 

ඉදිරි දේශපාලනයේ බලය තීරණය වීමේදී "පරිසරය" මඟ නොහැරිය හැකි කාරණාවක් බව අවිවාදිතය.කෙසේ වෙතත් මධ්‍යම පාංතිකයාගේ විරෝධාකල්පීභාවය  ඉලක්කකොට ගෙන ගොඩ නැංවෙන අර්බුද තුලින් 2024 බලය ලබා ගැනීමට කිසිසේත් නොහැක.මක්නිසාදයත් මධ්‍යම පාංතිකයාට දේශපාලන බලය කේවල් කිරීමේ හැකියාව 2024 දී අහෝසිවන බැවිනි.2024 දී එම හැකියාව ඇත්තේ වෙනත් තැනකය.


මලීෂ් කඹුරුගමුව.

2021.03.20


ප.ලි -දැන් කාටහරි අහන්න පුළුවන් "එතකොට පරිසර විනාශයට විරුද්ධ නැද්ද?"            කියල. 

          විරුද්ධයි.. විරුද්ධයි.. විරුද්ධයි!



Friday, August 21, 2020

අම්මා.






අදින්නෙ කුණු, නිවන්න බඩගින්න පොඩි උන්ගේ
ජිවත් උනත් කුණු එක්ක 
හිත තාම පිරිසිදුය 

වැරහැලි අඳින නිසාද මන්ද මිනිස්සු අමුතුවට බලන්නෙ
එපා ආයෙත් එහෙම බලන්න
එතකොට දුකයි හදවතට  
මොකද, අපිත් මිනිස්සු බව 
නොතේරෙනවද උබලට?

මං වැඩකරන ටියුෂන් පන්තියට
ආව අද ලොකු කෙලී 
උදේ බැදල දුන්න බත් මුලේ කොලේ 
දැම්මෙ මගේ මුණවත් නොබල
කුණු මල්ල මම උස්සගෙන
දැණුනෙ මහා කළුගලක් අතරිනවා විලසින්
හදවතට

උබට ලැජ්ජා හිතුනද
"අම්මේ"කියන්න දුවේ?
උබ දොස්තර නෝනා කෙනෙක් කරන්න 
අදිනවා කුණු මම තව  
මගෙ දුවේ.


මලිෂ් කඹුරුගමුව.








Saturday, July 11, 2020

ජීවන ගායනා.











ගීතිකා ගයන්නේ
සිහිනෙන් 
නෑසෙන හින්දා.


මලීෂ් කඹුරුගමුව.






Sunday, November 25, 2018

මරදානෙ සවසක.



අහම්බෙන් හමුවෙද්දි
මරදානෙ සවසක
නෙළුම් කුළුන හිටියේම
රවාගෙන.

මට මතක් උනේම
ඉස්සර
මම කැමති නුඹේ ඒ රෑවිල්ල.

ඉනික්බිති,
ආදරය කරන්න පටන්ගත්ත
නෙළුන් කුළුණට
බස් එකේදිත් නිතරම ජනේලයෙන් බැළුවෙ 
මට රවන නුඹව.


මලීෂ් කඹුරුගමුව.

දෙමළ ලේ.





මායිමේ 
මාර ගහයි කොස් ගහයි
හාදයිළු
කෑදැත්තෙක් ගම පුරා කියනව

"ගෙමිදුලෙ, පිච්ච මල් සේපාළිකා මල් වලට
යස අපූරුවට හාදු දෙන්නෙ"
රෑ බදුල්ලෙක් රහසින් මට කිව්ව

ප්‍රියා,
සත්තමයි,මම සිංහල නෙමෙයි
මේ බලන්න මේ! දෙමළ ලේ
හරියට නුඹේ වගේමයි.




මලීෂ් කඹුරුගමුව.