ඉන්දියාව විසින් පැහැදිලිවම ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝණය කරමින් දකුණු ආසියානු කලාපයටම බලපාන අති දැවැන්ත වායු දූෂණයක් සිදුකරමින් පවතී. දැනට වසර කිහිපයක සිට ඊසාන දිග මෝසම සමඟ ඉන්දියානු දූෂිත වායු දහරා ශ්‍රී ලංකාව වසාගන්නා අයුරු අප අත්වින්දෙමු. 2025 ජනවාරි අවසන් සතිය වන විට මේ වන තෙක් අප රටක් වශයෙන් අතිවිඳි දරුණුම වායු දූෂණ තත්වයට අප මුහුණ දෙමින් සිටිමු. මේ ලියන මොහොතේත් හුස්ම ගැනීමේ අපහසුතාවය සමඟ එම වායු දූෂණයේ අහිතකර තත්වය අත්විදිමින් සිටිමි.
මෙම අධික වායු දූෂණ තත්වය යටතේ රටක් වශයෙන් අපි මේ මොහොතේත් අධික හානි රැසකට මුහුණ දෙමින් සිටිමු. ඉන්දියාවේ කර්මාන්ත ශාලා වලින් නිකුත් වන මෙම දූෂිත වායූන් නිසා අපගේ වායුගෝලීය තත්වයන් අතිශය අහිතකර මට්ටමකට පත්ව තිබේ. කාබන් මොනොක්සයිඩ් (CO), නයිටුස් ඔක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NOx), සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) සහ දුහුවිලි අංශු (PM2.5) වැනි සෞඛයයට අතිශය අහිතරකර දූෂක ද්‍රව්‍ය ඉන්දියාව විසින් රසායනික ප්‍රහාරයක් මෙන් අප වෙත මුදාහැර තිබේ.
මෙම තත්වය නිසා ස්වසන රෝග ප්‍රමුඛව විශාල සෞඛ්‍ය ප්‍රශ්න රැසකට ශ්‍රී ලංකිකයින් මුහුණ දී සිටී. ස්වසන රෝග නිසා රෝගී වූ සහ මියගිය පුරවැසියන් කොපමණක්ද, මළදරු උපත් කොපමණක්ද යන්න තවමත් අප නොදන්නා නමුත්, එහි වැඩිවීමක් පවතිනු නොඅනුමානය. රජයේ සහ පෞද්ගලික රෝහල් වල සායනික දත්ත මගින් මෙම තත්වය නිසා ඇති වූ සෞඛ්‍ය අවධානම කොපමණද යන්න අවබෝධ කරගත හැකිය. එමෙන්ම රටක් වශයෙන් වැඩිපුර දැරීමට සිදුවන සෞඛ්‍ය පිරිවැයද ගණනය කළ හැක.
තවද දැනට සති කිහිපයක් තිස්සේ අපගේ අහස් කුස වසා ඝණ දූෂිත වායු වලාවක් පැතිර පවතී. මෙමගින් පොළවට පතිත වන හිරු එළිය අවහිර වීම සහ අම්ල වැසි නිසා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ බෝග වගාවන්ගේ අස්වනු හානිය මෙන්ම, සූර්ය බල පද්ධති වල උත්පාදනය අඩුවීම ඇතුළු සැලකිය යුතු ආර්ථික හානි සිදුවී හමාරය. මෙම හානීන්ගේ ප්‍රමාණය කොපමණද යන්න පහසුවෙන් ගණනය කිරීමටද රජයට හැක.
2019 දී ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහනේ Climate & Clean Air Coalition (CCAC) හි පාර්ශවකරුවෙක් වශයෙන් සම්බන්ධ වෙමින් තම රටේ වායු දූෂණය 2024 වන විට 30% කින් පමණ අඩු කිරීමට පොරොන්දු වී ඇති නමුත්, සැබැවින්ම මෙම වායු දූෂණ තත්වය පාලනය කිරීමට කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පෙනෙන්නට තිබේ. CCAC, UNFCCC, Kyoto, Montreal වැනි ඉන්දියාව බැඳී සිටින ජාත්‍යන්තර සම්මුතීන්ට අමතරව ඔවුන්ගේ රටේ පාරිසරික ආරක්ෂණ පණත (EPA) මගින්ද වායු දූෂණය පාලනය කිරීමට බැඳී සිටියක් ඒ කිසිවක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැත.
තවද, දේශාන්තර වායු දූෂණයට එරෙහි ප්‍රබල ජාත්‍යන්තර සම්මුතියක් වන Convention on Long-Range Transboundary Air Pollution (LRTAP) සම්මුතියේ පාර්ශවකරුවන් වශයෙන් ආසියානු රටවල් නොමැති වීම කණගාටුවට කරුණකි. එම සම්මුතිය අත්සන් කිරීම සඳහා දකුණු ආසියාතික රටවල් පෙළඹවීම කළ හැකි නම් එය අනාගතයේ මෙවැනි තත්වයන් පාලනය කරගැනීමට මහත් පිටුවහලක් වනු ඇත.
කුමණ සම්මුතීන් වලට එළැඹ සිටියද, අවට රටවලට පමණක් නොව ඉන්දියානුවන්ටද ඉමහත් අහිතකර පරිසරයක් නිර්මාණය කරන මෙම අධික වායු දූෂණ තත්වය දැන් වසර ගණනාවක් පුරා අඛණ්ඩව නරක අතට හැරෙමින් පවතීම මගින් පෙනී යන්නේ ඉන්දියාව මේ සම්බන්ධව සාධණීය පියවරක් නොගන්නා බවය. ඇතැම් විට ඉන්දියාව රටක් වශයෙන් අත්පත්කරගනිමින් සිටින ආර්ථික සංවර්ධන ඉලක්ක ඔවුන්ට පාරිසරිස සහ සෞඛ්‍ය ඉලක්ක වලට වඩා වටිනවා විය හැක. කෙසේ නමුත් මෙම වායු දූෂණයේ වැඩිම හානිය සිදුවනු ඇත්තේද ඔවුන්ටමය.
මෙම තත්වය ඉදිරියේදී තවත් වැඩිවනු විනා අඩුවීමක් බලාපොරොත්තු විය නොහැක. ඊට හේතුව ඉන්දියාවට ඇති ඉදිරි ආර්ථික සංවර්ධන ඉලක්කයන්ය. ලෝකයේ ආර්ථික බලවතුන් අතර මේ වන විට 5 වන ස්ථානයේ සිටින ඉන්දියාව ඉති ඉක්මණින් 3 වන ස්ථානයට පැමිණීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. ඒ සඳහා අධික කාර්මීකරණයක් වෙත ඔවුන් යොමුවී සිටින අතර පාරිසරික තත්වයන් ප්‍රශස්ථ ලෙස පවත්වාගෙන යෑමට ඔවුන්ගේ ප්‍රමුඛතා ලයිස්තුවේ ඇති බවක් පෙනෙන්නට නැත.
කෙසේ වුවත් ඉන්දියාවේ අවිධිමත් සංවර්ධනයේ ප්‍රතිවිපාක වලට ශ්‍රී ලංකාව වැනි අවට රටවල් වල පුරවැසියන් වන්දි ගෙවිය යුතු නැත. මෙම තත්වය සමනය කරගැනීම සඳහා ඉන්දියාවේ මෙන්ම අසල්වැසි රටවල පාරිසරික සහ ප්‍රජා සංවිධාන මූලිකත්වය ගත යුතුය. දකුණු ආසියාතික කලාපයේ පුරවැසියන් වශයෙන්ද මේ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ හඬක් නැගීම කාලෝචිතය. නැතිනම් මේ ඉන්දියානු වායු දූෂණ මාරයා ඔබගේ හුස්ම සඳහටම උදුරා ගන්නා දිනය වැඩි ඈතක නොවේ.
PS. මේ පිළිබඳ පළමු පියවර වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහනේ Climate & Clean Air Coalition (CCAC) හි ප්‍රධානියා වෙත අන්තර්ජාල පෙත්සමක් යොමු කිරීමට සිතුවෙමි. එයද අත්සන් කර ඔබගේ මිතුරන් අතරද ශෙයා කරන්න.
Sign the Online Petition - https://chng.it/BH4jxgCkS2
Photo credit: Thilina Kaluthotage & iqair.com
No comments:
Post a Comment