Monday, September 24, 2018

පැල්පත් කඳුළු.



අළුයම් රිදී හිරු රැස් දහර
හරි හරියට ගං තලය සමඟ ගැටී
ජල තලය රත්පැහැ ගැන්මට වෙර දරයි

ගං තලය පිස ආ මඳනල 
යාබඳ කුණු කන්ද හරහා 
පැල්පතේ කවුළුව තුලින්
ඇතුළු වූයේ පරණ සාරි කඩමාල්ල
තඹයකටවත් ගණන් නොගෙනය

සුපුරුදු දුර්ගන්ධය දවස පටන් ගැන්මට 
කාළය එළබ ඇති බවට 
සංඥාව දේ.
ඇත්තටම එය දුර්ගන්ධයක් නොව දවසේ එක් අංගයකි

සාරි කඩමාල්ලට 
උසුළු කරමින්
එය 
නොපැමිණි දිනයන්හි
දවස පටන් ගැන්මද
ප්‍රමාද වේ.

දිගු පෝලිම්
වැසිකිළියට
බෙලෙක් ටින්,කෝප්ප කෑලි 
අතේ දරාගත්,සියල්ල 
නොසන්සුන්
සුපිරිසිදු භාෂාව
දෙසවන කුල්මත් කරයි

මගේ වාරය පැමිණ ඇත
වතුර කඳුළු කිහිපයෙන් තෘප්ත
බෙළෙක් ටිනයද රැගෙන 
රිංග ගති ටකරන් කූඩුවට

කෘත්‍ය ඉටුවන්න පටන් ගත්තා පමණි
කාලකණ්නි යකඩ ඇතා 
හූ... කියා මොර දීගෙන 
දෙඳරවයි ටකරං මඩුව

කර්තව්‍ය හමාර විය
කොටස් වශයෙන්
එනමුත්
කොහින්ද,නිදහසක්
ටකරන් චිරි චිරිය
හූ.....ශබ්ද මැද
නිදහසේ සිටිය හැකි එකම වෙලාවටවත්
කොහින්ද
නිදහසක් 
පැල්පතේ අපිට



මලීෂ් කඹුරුගමුව.


3 comments:

  1. හොඳ නිර්මාණයක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ඒක හරියටම දෙදහස් දහසය වර්ෂයෙ දෙවෙනි කාර්තුව.එවකට මම තාක්ෂණ විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන අවධිය.මගේ තාවකාලික නවාතැන උනේ ජා-ඇල මගේ ඥාති නිවසක්.මම සතියෙ දිනවල දිනපතාම ජා-ඇල ඉදන් කොළඹ එනව.එහෙම එන්න මම ගොඩක් වෙලාවට තෝරගත්තෙ දුම්රිය.දුම්රිය ගමන කියන්නෙ මගේ ජීවිතේට වෙනස් අත්දැකීමක්.මම ඒ අත්දැකීමට අතිශයින්ම ආස කලා.ජා-ඇල ඉදන් මරදානට එන අතරමඟ දුම්රිය මාර්ගය දෙපස ගොඩක් වෙලාවට පැල්පත් නිවාස දකින්න ලැබෙනව.ඒ දුක් කම්කටොළු සියල්ල දරාගෙන කැළණි ගඟ සෝ සුසුම් හෙලනව.ඒ කාලෙ මම පුරුදු වෙලා හිටිය හවස කෝච්චියෙන් බැහැල රේල් පීල්ල දිගේ ඇවිදගෙන ගෙදර යන්න.එහෙම ඇවිදන් යද්දි රේල් පීල්ල දෙපස ඇති කුඩා පැල්පත්වල,ජීවිත මට ඉතාමත් තදින් දැනෙන්න පටන් ගත්ත.ඒ ජීවිත තුල මට මීට පෙර කිසිඳු දිනක මුණ නොගැසුණු කතා ගොඩක් හැංගිල තිබුන කියල මට හිතුන.ඒ සියල්ල හේතුවෙන් හිතේ ඇති කරපු බලවත් හැඟීමක අංශුමාත්‍රිය ප්‍රකාශනක් තමයි පැල්පත් කවුළු යටතේ ලියවෙන්නෙ.

    ReplyDelete